අලුත් ගෙයක් 

අද නම් මට දුක දවසක්. මොකද දන්නවද? ”නි” ගෙන් ඈත්වෙලා යන්න වෙන නිසා. ආ…….., බය වෙන්න එපා. මම ”නි” ව දාලා  යන්නේ නැහැ. එත් කාමරයෙන් මට යන්න වෙලා. ”නි” ගේ මව මගේ ඇඳත් සෙල්ලම් බඩුත් අරගෙන එලියට ගියා.

එත් මම නම් තවම කාමරයේ බිම දිගාවෙලා ඉන්නවා. යන්න හිතෙන්නෙම නැහැ. දන්නවද කොහෙද මම යන්නේ කියලා? මගේ අළුත් ගෙදරට.

ඒ කියන්නේ, ”නි” ගෙ පියා මට ලොකු කොටුවක් ගෙනල්ලා. දැන් ටික දවසක් වෙනවා. ඒත් මම ඒකට ගියේ නැහැ. පසුව ඔහු මාව  එතනට ගෙන ගොස් “චාලි, මේක තමයි ඔයාගේ ගෙදර. ඒ කියන්නේ ඔයා ඉන්න ඕන මෙතන. මේක ඔයාගෙමයි.” කියා කිවේය.

ඒත් ඉතිං, මම මේ ගෙදරට ආවදා ඉඳලම හිටියේ ”නි” ගේ කාමරයෙයි. මටම කියලා පුංචි ඇඳකුත් ගෙනත් දුන්න දවසේ, මම හිතුවා හැමදාටම මෙහෙම ඉන්න පුළුවන් වෙයි කියලා. 

Untitled design (6)

ඒත් ඉතිං, මම වයසින් පුංචි උනාට ශරීරයෙන් විශාල වෙනවනේ. ඒක නිසා වෙන්න ඕනා මටම කියලා ගෙයක් හදල දුන්නේ.

ඒත් මම මගේ අළුත් ගෙදරට ගිය පසු ‘නි” ව රෑට බලා ගන්නේ කවුද? ඒ විතරද. ”නි” ගෙ පුරුද්දට මොකද වෙන්නේ? පුරුද්ද……? ම්…….,පුරුද්ද.

ඔයාලට හිතෙනවා ඇති මොනවද මේ මම කියන්නේ කියලා. ඔව්, පුරුද්ද. දන්නවද? ”නි” ගෙ පුරුද්දක් තියෙනවා දවස පුරාවටම ඇය කල සියලුම දේවල් ඇගේ දෙමවුපියන් සමඟ කියන එක. ඒත් පසුව, රෑට නින්ද එනතුරුම ඇයගේ දවසේ තොරතුරු මා සමඟ බෙදා ගන්නවා.

ඔයාලා හිතයි ”නි” ට පිස්සු කියලා. මොකද මම බල්ලෙක්නේ නේද? ඉතිං, ”නි” මොකටද මට ඒවා කියන්නේ කියලා. ඇත්ත. එත් ”නි” කතා කරන හැම වෙලාවෙම මම හොඳින් අහගෙන ඉන්නවා. සමහර විට මම බුරනවත් එක්ක.

එයාගේ හොඳම යාළුවෙක් වුන මම එයාට ඇහුන්කම් දෙනවා. සමහර දේවල් සතුටෙන් කියවනවා. එතකොට මමත් බුරලා වටේට රවුමක් කැරකිලා අයෙත් හිඳගෙන ”නි” ට ඇහුන්කම් දෙනවා.

ඇයගේ මේ හුරතල් කථා ඇයටත්  හොරෙන් ඇගේ දෙමව්පියන් කාමරයේ දොර ගාවට වී අසා සිටිනවා මා කිහිප විටකම දැක තිබුනත් ”නි” නම් ඒ ගැන නොදත් බවයි මා දන්නේ.

ඉතිං, මේ නිසා ”නි” ගෙ හොඳම පුංචි යාළුවා වුන මා හට ඇයව දමා යාමට හිත නොදුන්නත් මටම අයත් මගේම පුංචි ගෙදරට යාමට නම් මා සිටින්නේ සතුටෙනි.

Untitled design (21)