දොස්තර මහතාගේ පැමිණීම
අද උදෙන්ම හැමෝම නැගිටලා. උදේ කෑමට මේසය වටේටම හිඳගෙන. එත් අම්මා නම් දුරකථනය අතේ තබාගෙන කා සමඟදෝ බර කථාවක්. මමත් ඒ අසලටම හෙමිහිට ගියෙමි. මොකද මටත් උදේ ආහාරය ලැබෙන්න ඕනනේ. නැත්නම් ලොකුවෙන්නේ නැහැ කියලා එදා ආපු වෙලේ මාමා කිවුවා මට මතකයි.
“ආ ……… එන්න චාලි, මෙන්න ඔයාගේ කෑම. සේරම කන්න ඕනා.” පියා මා වෙත මාගේ කෑම පිගාන දිගු කළේය.
”දොස්තර මහත්මයා අද දහවල් 2.00 ට විතර එනවා කිව්වා. පුලුවන්නම් 12.00 ට විතර මතක් කරන්නත් කිව්වා.” අම්මා හැමෝටම ඇසෙනසේ කීවාය.
”එහෙනම් චාලිව නාවලා, පිරිසිඳු කරලා තියමු. මොකද බෙහෙත් විද්දට පසුව නාන්න හොඳ නැහැනේ.” කියා පියා පවසත්ම ”නි” මා වෙතට පැමිණියාය.
”චාලි, අද ඔයාව බලන්න ඔයාලා ගැනම දන්න දොස්තර මහත්මයෙක් එනවා.ඉතිං ඔයා ලෑස්තිවෙලා ඉන්න ඕන. කාලා ඉවර වුන ගමන්ම අපි නාන්න යමු.” කියා ”නි” එතනින් නික්ම ගියාය.
ඉතා ඉක්මනින්ම මගේ කෑම ටික ගිල දමා ”නි” ගිය දිශාවටම හෙමිහිට දිව ගියෙමි. ඇය එළියේ තිබූ නාන කාමරය අසල සිටිනු දුටු මා ඇය වෙතට ගිය විගසම දෙඅතට මාව ගෙන නාන කාමරය තුලට රැගෙන ගියාය.
එහි තිබූ කරාමය ඇර වතුර ගලා ඒමට සලස්වා,මාව එය යටින් තැබුවාය. සීතල වතුර මගේ ශරීරයට වැටෙත්ම ඉබේටම කෑගැසුනේය. එවිටම සුළුදිය පාරක්ද නොදැනීම ගලා ගියේය. එත් ”නි” මාව තදින් අල්ලාගෙන හොඳටම නෑව්වය. ටිකකින් කරාමය වසා දමා ඇය ඉවතට ගියාය.
”අනේ හරිම ෂෝක්. නාලා ඉවරයි.” කියා සිතමින් අඟ ගසා දැමූ විගසම ”නාලා ඉවර නැහැ, තව සබන් ගාන්න ඕනා.” කියා ”නි” කියාත්ම මා එයින් මිදීමට දිව යාමට සිතුවා පමණි එකනෙහිම ඇය මා නැවතත් අල්ලා ගත්තාය.මොනවදෝ සුවඳ සබන් ජාතියකින් හිසේ සිට මගේ පා දක්වාම පෙන නැගෙන තරමටම අඟ පුරාම ගලවා හොඳටම අතුල්ලන්න පටන් ගත්තාය.
”චාලි, ඔයා සුවඳට ඉන්න ඕනා. බල්ලෝ වුනහම පිරිසිදුවට ඉන්නත් ඕනා.” කියමින්ම නොනවත්වාම අතුල්ලන්න වුවාය.
”චාලිව නාවලා ඉවරද?” පියාගේ කට හඬයි.
”සබන් ගාලා ඉවරයි; නාවන්න යන්නේ.” නි පිළිතුරු දුන්නාය.
නැවතත්, එක් අතකින් මාව අල්ලාගෙන අනෙක් අතින් කරාමය ඇර, එයින් පිට වන්නාවූ ජලයෙන් නාවන්න ගත්තාය. සබන් සියල්ලම සේදී යනතුරුම නාවා අවසන් කෙරුවද තවමත් මා වෙව්ලමින් ගැහෙමින් සිටියෙමි.
නාන කාමරය තුල එල්ලා තිබූ පොඩි තුවායක් ගෙන මාව එහි ඔතා හොඳින් හිරු එළිය වැටෙන තැනකට ගෙන යාමට ඈ දෙවරක් නොසිතුවාය. ඇය මා ඔසවාගෙන ගොස් පොඩි කොටයක් මත තබා මගේ ශරීරයේ තෙත මාත්තු කලාය.
”චාලි, දැන් හරි, ඔයාට සීතල නැහැනේ. තව ටික වෙලාවක් ඔහොම ඉන්න. එතකොට හරියයි.” කියා නි ගියාය.
ඇත්තටම කවුද මේ දොස්තර? අයි එයා මාව බලන්න එන්නේ? ඔය වගේ ගොඩාක් ප්‍රශ්ණ මගේ හිතේ නලියන්නට වුනි. එසේම, ඔහු එනතුරුම නොඉවසිල්ලෙන් බලාගෙනද සිටියෙමි.
”මෙතනින් බැහැ ගන්නේ කොහොමද? මේ කොටය ටිකක් උසයි. බුරන්න ඕනා. මගේ හඬ ඇහිලා කවුරුම හරි එයිනේ.” සිතමින්ම ”බව් වව්,බව් වව්”
“අන්න චාලි කථා කරනවා වගේ, දැන් එයාව අරගෙන එන්න. දොස්තර මහතා එනවා ඇති.” කියා මව කීවාය.
”නි” මාව ඔසවා ගෙනයත්ම, නිල් පාට කාරයක් අපේ වත්තට හරවනවා දුටුවෙමි. එයින් එක් පුද්ගලයෙකු බැස ගත් විගසම එම කාරයේ පිටු පස දොර විවර කර මොනවදෝ පොඩි පෙට්ටියක් අතට ගත්තාය.
ගෙය දෙසට ඉක්මන් ගමනින් පැමිණි ඔහුව ”එන්න ඩොක්ට” කියා මව කතා කාලය. උස, ටිකක් මහත පුද්ගලයෙක් වූ ඔහු අත කොට කමිසයකින් ද දිග කළු කලිසමකින්ද කළු සපත්තු කුට්ටමකින්ද සැරසී සිටි අතර පිළිවෙලකට කොන්ඩයද පීරා සිටියේය. පෙනුමෙන් ප්‍රියමනාප කෙනෙකු සේ පෙනුණු අතර සිනහ මුසු මුහුණින් පැමිණ සිටියේය.
ඔහු මව දුටු විගසම ”මෙයාද අර කියපු කෙනා?” යැයි පවසමින් මා වෙතට අවුත් ”හරිම හුරතල් පාටයි, මොකක්ද මෙයාගේ නම? ” කියා විමසා සිටියේය.
”අපි මෙයාට පොතකුත් හදමු සියලුම විස්තර සඳහන් කරලා. අද සේරම ටික විඳිනවද?” දොස්තර මහතා ඇසුවේය.
”ඔව්, අවුරුද්දටම විඳින ඒවා විඳිමු. එතකොට චාලිටත් හොඳයි, අපිටත් හොඳයි.” යැයි මව පැවසුවාය.
”විඳින්න” මොනවද මෙයාල කියන්නේ? මටනම් තේරෙන්නේ නැහැ. දැන් නම් බයකුත් දැනෙනවා. බලමුකෝ මොනවද කරන්නේ කියලා.” මෙසේ සිතමින්ම මම ඔවුන් දෙස බල සිටියෙමි.
දොස්තර මහතා එළියේ තිබූ මේසය උඩ ඔහුගේ පෙට්ටිය තබා එය දිග හැර එයින් දිගම දිග කටුවකුත්, තව කුප්පි දෙකකුත් අතට ගත්තේය. මෙන්න මේ කුප්පි දෙකේම තියෙන ඒවා අර දිගම දිග කටුවට ගන්නවා. මොනවද මෙතන වෙන්නේ? අනේ……. මට බයයි.
”හරි, අපි චලිව මේසය උඩට ගමු.” දොස්තර මහතා පැවසුවේය.
”නි” මාව මේසය උඩට ගෙන හයියෙන් අල්ලා ගත්තාය. එකෙනෙහිම මා මරලතෝනි දී කෑගසන්නට වූයේ අර දිග කටුව මගේ ශරීරයට විඳ තිබූ නිසාවෙනි.
”හරි, හරි අපි ඉවරයි. ඔයාට රිදුනේ නැහැ. ඔයා හොඳ බල්ලෙක්නේ…….” යනුවෙන් දොස්තර මහතා පැවසුවද එයින් දැනුණු වේදනාව මමනේ දන්නේ.
පසුව, නැවතත් ”ආ………, මේක විතරයි.” කියා නැවතත් කටුවකින් ඇන්නේය. යලිත් මර හඬ දී කෑගැසූ මා හට නොදැනුවත්වම ඇස් දෙකෙන් කඳුළුද පැන්නේය.
”හරි, අපි ඉවරයි.” දොස්තර මහතා ඉතා කරුණාවෙන් පවසා මගේ හිසද පිරිමැද්දේය.පසුව මාව මාගේ ඇඳට ගෙන ගියාය.
”මෙන්න චාලිගේ පොත. මේකේ සේරම විස්තර තියෙනවා. නැති කර ගන්න එපා. මම පණු බෙහෙතුත් ලිව්වා. මාස හයකට වරක් දෙන්න.” දොස්තර මහතා පැවසුවේය.
ටිකකින් ඔහු ගියද, මොනවද සිදු වුයේ කියා මා දැන සිටියේ නැත. එයට හේතුවනම් වේදනාව වැඩිකමට මට හොඳටම නින්ද ගිය නිසාවෙනි. අවදි වූ පසු දැනගන්නට ලැබුනේ ඒ ගැසුවේ ඉන්ජෙක්ෂන් බවත් මගේ හොඳට සහ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට එය මා හට ලබා දුන් බවත්ය.