ප්‍රථම මස් කටුව
ඉතා ආදරයෙන් සතුටෙන් කාලය ගෙවෙත්ම මා ද ටිකෙන් ටික වැඩෙන්නට ගත්තෙමි. මාගේ සුපුරුදු ආහාර වේල වූයේ රවුම් හැඩයකින් යුත් පොඩි බිස්කට් වර්ගයක්. මට කෑම දෙන සෑමා මොහොතකම කුස්සියේ මුල්ලකට කර තිබෙන කිලෝ 10 යක පමණ ප්‍රමාණයේ බෑගයක් තුලින් තමා මේ බිස්කට් අරගන්නේ. ඒකෙ තියෙන්නේ මගේම කෑම කියලා මම දන්නේ එම උරයේ පිටත මං වගේම බල්ලෙකුගේ රූපයක් ඇඳ තිබෙන නිසාත් එය තුල තිබෙන ආහාර මටම පමණක් දෙන නිසාත්ය.
ඇත්තම කියනවා නම් ඒවා කන්න මම හරිම ආසයි.එහි අමුතුම රසයක් තිබෙනවා. හැබැයි ඒ මොන රසයක්ද කියන්න නම් දන්නේ නැහැ. මේ ආහාරයට අමතරව සමහර දවස් වලට අලුතෙන් නොයෙක් නොයෙක් කෑම ජාති දෙන්න ”නි” ගෙ පියා අමතක කලේද නැත.
එක දවසකට මාළු සුප් සමඟ බත්. ම්……., හරිම රසයි. මට කටට කෙලත් උනනවා. එදා නම් මම පිගානත් ලෙව කෑවෙමි. තව දවසකට එළවළුත් සමග. අන්න එදා නම් ටිකක් විතර අකමැත්තෙන් කෑම ටික කෑ නමුත් සේරම ටික ආහාරයට ගතිමි. මොකද මම ඉක්මනටම ලොකු වෙන්නත් ඕන නිසා.
ඔන්න……., එක දවසක් ”නි” ගෙ පියා කඩේට ගිහින් ඉක්මනින්ම පැමිණියේය. අපුවෙලේ සිටම මට කතා කරන්න වුයෙන් දුවගෙන ඔහු ළඟටම ගියෙමි.
”ඔන්න චාලි, ඔයාට අද මං හොඳ කෑමක් ගෙනාවා. මේවා බල්ලෝ කනවා. ඔව්, ඔයාටත් ආස හිතෙයි. මේවාට කියන්නේ මස් කටු කියලා.” කියමින්ම මා අසලටම යම් කිසි දෙයක් ගෙන දුන්නේය.
එය ටිකක් විශාල, රතු පාට, මස් වලින් වැසුණු යමක්. එය වටා එක රවුමක් කැරකැවී එය ඉව කරන්නට පටන් ගත්තෙමි. ”සුවඳ නම් හොඳයි. ආසත් හිතෙනවා.”
”කන්න, කන්න. ඉතිං …… කන්න චාලි” කියා පියා කියත්ම එය මාගේ පුංචි දත් ටිකෙන් හපන්න පටන් ගත්තෙමි.
”ම් …….., රසයි. ගොඩාක් රසයි. ආසාවේ බෑ.” මා බිම දිග වී ගෙනම මාගේ පුංචි දෑතින් එය අල්ලාගෙන හෙමිහිට හපලා කන්න පටන් ගත්තෙමි.
නතර කරන්න නම් හිත දෙන්නේම නැහැ. ඔළුව දකුණු පැත්තට හරවලා හපන්න ගත්තෙමි. නැවතත් වම් පැත්තට හැරිලා හපන්න ගත්තෙමි. කටුව දෙඅතින් අල්ලාගෙන බිම දිග වී ගෙනම නැවතත් හපන්න ගත්තෙමි. හරිම සතුටුයි. මාගේ ප්‍රථම මස් කටුව. එය රස බැලූ දවස මට අද වාගේ මතකයි. ඔව්, මට තවම මතකයි. රෑ වන තෙක්ම එය මා ඇත හරියේ නැත. නින්දට ගියේද එය මා ලඟම තබා ගෙනමය.