පාර්ක් එකට යාම
මම ආසම දවස සෙනසුරාදා. මොකද දන්නවද? නිවාඩු දවසක් නිසාත් අද මට හොඳටම සෙල්ලම් කරන්න පුළුවන් වෙන නිසාත්ය. ඔයාලාට හිතෙනවා ඇති ඇයි මම එහෙම කියන්නේ කියලා. අනිත් දවස් වලටත් මම සෙල්ලම් කරනවා. ඒත් සෙනසුරාදට විශේෂයි. එකට හේතුව තමා මං වගේම යහළුවෝ ටිකක් මුණ ගැසෙන නිසා. අනික….., මම හොඳටම දන්නවා අද ”නි” ත් එයාගේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න යනවා කියලා.
ඔයාලා දන්නවද එයාලා මොනවද සෙල්ලම් කරන්නේ කියලා. එයාලා රෝද සපත්තු පදිනවා. ඉතිං, මම ඊයේ අහගෙන ”නි” එයාගේ යාළුවන්ට කෝල් කරලා කියනවා අපි උදේ 10 ට පාර්ක් එකේදී හම්බ වෙමුයි කියලා.
මේ කියන පාර්ක් එක තියෙන්නේ අපේ ගෙදරට ටිකක විතර දුරින්. හැබැයි පයින් යන්න පුළුවන් දුරක්. ඒකෙ ලස්සනට මල් වවලා තියෙනවා. ලොකු ගස් තියෙනවා. තව පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න වෙනමම තැනක් තියෙනවා. අපේ බලු යාළුවන්ටත් සෙල්ලම් කරන්න පුළුවන්.
සමහර අය ව්‍යායාම කරන්නත් එනවා. දුවනවා. බෝල ගහනවා. කථා කරකර ඉන්නවා. පාඩම් කරනවා. රෝද සපත්තු පදිනවා. තව කෑම කඩත් තියෙනවා. මම හරිම ආසයි එතෙනට. මොකද ඇති තරම් සෙල්ලම් කරන්න පුළුවන්නේ.
අද උදෙන්ම මම අවදි වුනෙමි. කාමරය පුරා එහාට මෙහාට දුවමින් සිටියේ ”නි” අවදිවන තුරුය. එයාට නම් ගානක්වත් නැහැ. තවම නිදි. ටිකක් බුරන්න ඕනා. එතකොටවත් නැගිටියිනේ.
”බව් වව්, බව් වව්” ,”චාලි ……., ඕක නවත්තන්න. මට නිදිමතයි.” ”නි” එසේ පවසමින්ම අනිත් පැත්ත හැරී නිදා ගත්තාය. නැවතත් ”බව් වව්, බව් වව්” ”හරි,හරි ඔන්න නැගිට්ටා. දැන් හරිනේ.” ”නි” පැවසුවාය.
දැන්නම් 8 ත් වෙලා ”නි” තවම ලෑස්ති නෑනේ. අම්මා උදේ ආහාරය සකසලත් ඉවරයි.
”ට්රීන්, ට්රීන්” නි ගෙ දුරකථනය නාද වෙනවා.
”හෙලෝ, හරි මම වෙලාවටම එන්නම් ”නි” පිළිතුරු දුන්නාය.
මටනම් ඉවසිල්ලක් නැහැ. එහාට දුවනවා, මෙහාට දුවනවා.
අන්න ”නි” එනවා. උදේ කෑම ගත්ත ගමන්ම එයා යනවා. මටත් එයත් එක්ක යන්න ඕනා. කොහොමද මම ඒක කියන්නේ?
”බව් වව්,බව් වව්”
”මොකද චාලි අද ඔයාට වෙලා තියෙන්නේ? උදේ ඉඳන්ම බුරන එකමයි වැඩේ. ” නි ඇසුවාය.
”නි” උදේ ආහාරය ගෙන අවසන්. කාමරයට ගියේ බෑගය සකසා ගන්නයි. රෝද සපත්තු දෙකයි, අත් මේසුයි, වතුර බෝතලයයි, තව බනිස් වගයකුයි බෑගයට දමා ගත්තාය. දැන් සපත්තු දානවා. ඒ කියන්නේ……., එයා යන්නයි යන්නේ.
බෑගයද රැගෙන කාමරයෙන් පිටතට පැමිණි ”නි” තොප්පියද දමා ගෙන ගෙදර දොර ගාවට පැමිණෙත්ම බෝලයද කටේ තබාගෙන ඇය ඉදිරියට පැන්නෙමි.
එකෙනෙහිම නතරවුණු ඇය ”චාලි, ඔයාට එන්න බෑ. අද මම පයින් යන්නේ. අනික මම රෝද සපත්තු පදිනවා. එතකොට ඔයා මොකද කරන්නේ? ඒක නිසා අද බැහැ. වෙන දවසක යමු.” කියමින් ඇය ඉදිරියට ඇදෙන්නට වුවාය.
මා නැවතත් ඇය ඉදිරියට පැන ”බව් වව්, බව් වව්” කියමින් මාගේ නැට්ටද වැනුවෙමි. නැවතත් බෝලය කටට ගෙන ඇය අසලටම ගියෙමි.
”බෑ චාලි බෑ” ඇය පැවසුවාය. මට දුකද සිතුනි. එහෙත් මා උත්සාහය අත් හැරියේ නැත.
නැවතත් ඇය ඉදිරියට ගොස් බුරමින්ම නැට්ටද ඔළුවද වැනුවෙමි.
මෙසේ ටික මොහොතකට පසු ”නි” ගෙ මව පැමිණ ”කමක් නෑ පුතේ, චාලිවත් එක්කගෙන යන්න.” පැවසුවාය.
මට සතුටු සිතුණි. නැට්ට වනාගෙනම දුවවිත් මවගේ දෙපා ළඟ හිඳ ගත්තේ ඇයට මා ස්තුති කරන්නා සේය. එය දැක මවට මෙන්ම නි ටද සිනහ නැගුණි.
”එහෙනම් චාලි, අපි යමු. හැබැයි මම යාළුවෝ එක්ක රෝද සපත්තු පදිද්දී මට පේන තැනක ඉන්න ඕන. දඟ වැඩ බැහැ. හරිනේ. එහෙනම් යමු.” නි පැවසුවාය.
ඉතා සතුටෙන් ”නි” සමඟ මා ගමන් කලෙමි. පාර්ක් එකේ ගේට්ටුව ගාව නි ගේ යාළුවන් අප එනතුරු මග බලා සිටියෝය. මා දැක ඔවුන්ද සතුටු වුවෝය. ඒ හැමෝම ”යමු චාලි, එන්න සෙල්ලම් කරමු.” කියමින් මා සමඟද විනෝද වුවෝය.
මාගේ මිතුරන් හමුවුවද නිතරම මා සිටියේ නි ගේ මිතුරන් සමඟමය. ඇතිවෙනකම්ම අපි සෙල්ලම් කළෙමු.