රැකවලා සහ ආරක්ෂකයා
මා මාගේ ගෙදරට ගියද තවමත් මා සිටින්නේ හැමදෙනාවම පෙනෙන දුරකිනි. ගෙය සහ වත්ත උස, ලොකු තාප්පයකින් වට වුවද දහවලට මා මාගේ ගෙය තුලට වී සිටිමි. හවසට එයින් පිටතට පැමිණෙන මා වත්ත පුරාම දුව පැන ඇවිදිමි. ගෙදර සුරතලාත්, රැකවලාත්, අරක්ෂකයාත් වූ මා හට හැමෝම ආදරය කරන නිසා ඉඳහිට දඟ වැඩද කරමි.
මෙසේ, සතුටින් කාලය ගෙවෙත්ම, එක්තරා දවසක අපි හැමෝම නොසිතූ දෙයක් සිදු වුයේය. එනම්, වෙනදා මෙන්ම සවස යාමයේ මා වත්තේ එහා මෙහා ඇවිදිමින් සිටියෙමි. සුපුරුදු ලෙස පවුලේ සැම තම තමන්ගේ වැඩ කටයුතුවල නිරතවී සිටියෝය. යන්තම් කරුවල වැටීගෙන එනවාත් සමඟම සද්දයක් අසුනේ ගෙයි පිටුපසිනි. ඉදිරිපස සිටි මා වෙඩිල්ලක වේගයකින් දිව ගියෙමි. වටපිට බැලුවෙමි.එහෙත් පෙනෙන්නට යමක් නැත. නැවතත් විපරම් කලෙමි. ම්……., නැත. කිසිවක් නැත. හිමින් ගමනින් ඉදිරිපසට යාමට හැරෙත්ම ”ස්……” හඬක් නික්මුණි.
නැවතත් වට පිටාව විපරම් කර, එහාට මෙහාට දිව ගොස් බැලුවෙමි. නැත. කිසිවක් පෙනෙන්නට නැත. නැවතත් මා සක්මන් කලෙමි. ම්………., නැත. දැක ගැනීමට කිසිම දෙයක් නැත. මටම පුදුම සිතුණි. මෙපමණ විපරම් කලද කිසිවක් දැක ගැනීමට ලැබුනේ නැත.
ටිකක් ඉදිරියට ගොස් පිටුපස වටපිටාව පෙන නොපෙනෙන මානයේ බිම දිග වුනෙමි. යමක් ගොදුරු කර ගන්නා සේ මා ඉතා ඉවසීමෙන් ඕනෑකමින් බිම දිගා වී ගෙනම සිටියෙමි. ඔළුවද නොසෙල්වා සිටි මා ඉටි රුවක් සේ බලාගත් වතම බලාගෙනම සිටියෙමි.
”ස්…….” නැවතත් අසුනේය. එහෙත් මා නොසෙල්වී සිටියෙමි. ”ස්……” ඉතා අවධානයෙන් හඬ ඇසෙන දිශාවට නෙත් යොමු කලෙමි. ඔව්, ඔව්, මම දුටුවෙමි. එය පහලින් නොව උස් තැනකින් ඇසෙන හඬකි.
යාන්තමින් හිස ඔසවා බැලුවෙමි. ම්…….., ම්ම් දුටිමි. හොඳ හැටියෙන් දුටිමි. එක පිරිමි ළමයෙක් අල්ලපු ගෙදර වහලය උඩට නැඟ සිටියේය.අපේ වත්තට පැනීමට තැත් කරමින්, මාන බලමින් සිටි ඔහු වෙතට මාගේ නෙත් එක එල්ලේම යොමු වුයේය.
”චරාස්” ඔහු වත්ත තුලට පැන ගත් විගසම මා එකෙනෙහිම ඔහු වෙතට කඩා පැන්නේ මාගේ උල් දත්ද උලුප්පා ගෙනය.
හ්ම්……හ්ම්……., බව් වව්, බව් වව් මම බුරන්නට ගත්තේ ගෙදර හැමෝටම ඇසෙන අටියෙනි. ඔහුත් නොසිතූ මොහොතක ඔහු වෙතට කඩා පැන්න මාගෙන් බේරීමට එහා මෙහා දිව ගියද මා ඔහුටත් වඩා වේගයෙන් දිව ගොස් ඔහුගේ කකුලෙන් අල්ලා ගත්තෙමි. එහෙත් ඔහුගේ දිග කලිසම පමණක් මාගේ දත් අතර සිරවූ හෙයින් එතනම ඇද වැටුණු ඔහු බඩගා යාමට තත් කලද ඉතා රළු ලෙස භයන්කරව මා ගොරවමින්ම කලිසමෙන් අඳිමින් සිටියේ මාගේ ග්‍රහනාගෙන් මිදී පලා යාමට ඔහුට ඉඩ නොදෙන අටියෙනි.
යලිත් මා ඉතා වේගයෙන් බුරන්නට ගත්තෙමි.ගෙදර සැම මා සිටි දෙසට දිව ආ පසුද නොනවත්වාම ඔහු දෙසට දෑස් යෝමාගෙනම බිරුවෙමි.
”චාලි, දැන් ඇති. නවත්වන්න ඔය බිරිල්ල” පියා පැවසුවේය.
මා එය නැවැත්තුවද, දත් උලුප්පාගෙනම ඔහු දෙසම බලා සිටියෙමි.
”අනේ මහත්තයෝ, මට සමාවෙන්න” යනුවෙන් බිම දිගා වී ගෙනම දෙඅත් වැඳ පියාට ආයාචනා කලද මා නැවතත් බිරුවෙමි.
”අපි මේ සෙල්ලම් කර කර හිටියේ. අපේ බෝලය මෙහාට වැටුනා. ඒක ගන්නයි ආවේ.” කියාත්ම නැවතත් මා ඔහු දෙසට පාන්නෙමි.
”චාලි, දැන් ඇති. හොඳ චාලි” නි පැවසුවාය.
”නැගිටිනවා, බොලේ මෙහාට වැටුනානම් කථා කරලා ඉල්ලා ගන්න තිබුනා. අනිත් අයගේ වතු වලට හොරෙන් හොරෙක් වගේ පනින්නේ නැතුව. දැන් යනවා.” පියා පැවසුවාය.
”මහත්තයා බල්ලා?” ඔහු පැවසුවාය.
”හරි, හරි දැන් යනවා. මම බලාගන්නම්. තමුන්ට තුවාල නෑ නේද?” පියා ඔහුගෙන් ප්‍රශ්ණ කලේය.
”නෑ මහත්තයා. මම යන්නම්.” කොලුවා පැවසුවේය.
හොරෙන් හොරෙන් මා දෙස බලමින් හිමිහිට නැගිට කකුලකුත් ඇඳ ඇඳ කොලුවා යන්නට ගියේය.නි මා අසලටම වී සිටියාය. මාද ඔහු දෙස ඔරවාගෙනම බලා සිටියෙමි.
ටිකක් දුර යත්ම නැවතත් පියා ”ඔහොම ඉන්න.ආ….., මේ බෝලයත් අරගෙන යන්න. අයෙත් ඔය වගේ වැඩ කරන්න එපා.” යනුවෙන් පැවසුවේය.
කොලුවා බෝලයද රැගෙන ඔළුව වනා යන්නට ගියේය. ඔහුගේ දිග කලිසම ඉරී තිබුණි.
එයට හේතුව නම් මාගේ මුවින් ඔහුව සපාගෙන ඇදගෙනම සිටි නිසාය.
කිසිවක් නැති පැවසුවද මාගේ දත් පාරවල් ඔහුගේ කකුලේ තිබෙන්නට ඇතැයි මා විශ්වාස කරමි. එමෙන්ම ඔහු විසින් බෝලය පිළිබඳව කී දෙයට මාගේ සිත එකඟ නොවේ.
ඔහු සොරෙකු යැයි මට සිතේ. එයට හේතුව නම් සොරෙකු සේ කුරුමානම් කරමින් හිමිහිට වටපිටාව පරීක්ෂා කර බලමින් සිටිනු මා දුටු නිසාවෙනි. කෙසේ වෙතත් ඔහු නොපෙනී යන තුරුම තරහෙන් ඔහු දෙසම බලා සිටියෙමි.
පියාත් මවත් ගෙදර අනෙක් අයත් සිනාසෙමින් එතැනින් යන්නට ගියෝය. හිඳගෙන වුන් මා වෙතට නැමී ”නි” මාගේ හිස අතගා යන්නට යත්ම මාද ඇය සමඟම යාමට සිතා වුන් තැනින් නැගී සිටියෙමි.
ඉතා වීර හපන් ක්‍රියාවක් කලාසේ මා හිස ඔසවා ගෙනම ඇය සමඟම ගමන් කලෙමි.
කෙසේ නමුත් නිවසේ ආරක්ෂකයා සහ රැකවලා වූ මා සැමවිටම විමසිල්ලෙන් පසුවෙමි. පවුලේ සැම ආරක්ෂා කිරීම මාගේ වගකීම යැයි සිතමි.