හඳුන්වාදීම
අද නම් හරිම සීතල දවසක්. එත් සුපුරුදු ලෙසම උදැසනම අවදිවෙලා මගේ යාළු ”නි” අවදිවන තුරු බලාගෙනම ඉන්න ඕනා. මොකද………….? මම හරිම ආසයි එයා අවදිවූ විගසම ගෙදර පිටුපස දොරෙන් මා දෙස බලා ”සුභ උදෑසනක්” කියා බිස්කට් කෑල්ලකුත් සමඟම මං ගාවට එනවට. ඒවගේම ”නි” කතාකරන විට මා නොසිටියහොත් කලබල වී මාව සොයනවා. ඉතිං, ඒ නිසා ”නි” ගේ පැමිණීම මම බලාපොරොත්තු වෙනවා.
ආ…………., මට ඔයාලට මාව හඳුනා දෙන්න බැරුව ගියා. මම නමින් ”චාලි”, ඉපදුනේ 2012 ඔක්තෝබර් මස 28 වෙනි දින. මම ජීවත් වෙන්නේ නගරයේ. මගේ පාට කළු සහ ටිකක් දුඹුරු පැහැයයි. මම ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් බල්ලෙක්. ඒ කියන්නේ කකුල් හතරක් තියෙන, දිග කන් දෙකක් තියෙන, ඔයාල ගොඩාක් ආදරය කරන සුරතල් බල්ලෙක්.
එතකොට ”නි” තම මගේ අයිතිකරු. එය කොණ්ඩය දිගට තියෙන, සෙල්ලමට වගේම ඉගෙනීමටත් දක්ෂ, විවිධ වූ හැකියාවලින් පිරි, කරුණාවන්ත මට ගොඩක් ආදරය කරන පුංචි ගැහැණු ළමයෙක්.
ඉතිං, දැන් මම ඔයාලට කියන්න යන්නේ මගෙයි ”නි” ගෙයි එක කථාවක්. අහන්න කැමතියි නේද?