හමුවීම
මාව ”නි” ට හමුවෙද්දී මම ගොඩාක් පුංචියි. මට හරියට ඇවිද ගන්නවත් බැහැ. මුකුත්ම කන්නවත් බැහැ. මගේ මවත්, අනෙක් සහෝදර සහෝදරියන් සමඟ තමා මම හිටියේ. අපි හැමෝමවම පොඩි කොටුවක දාලයි තිබුණේ.
හැමදාම විවිධ වූ පුද්ගලින් ආවා අපිව බලලා කැමතිනම් අරගෙන යන්න. අපි හැමෝටම අළුත් ගෙදරකට යන්න වෙනවා කියලා අපිව බාරව සිටි මාමා හැමදාම කියනවා. ඉතිං, ඔය වගේ ආපු අය අතරේ මට මතකයි ”නි” ත් සිටියා. එයත් අනිත් හැමෝම වාගේම ඉතා ඕනෑකමින් අපි හැමෝම දෙස බලනවා මා දුටුවා. එත් සිතා ගන්නවත් බැරි මොහොතක අවසානයේදී ”නි” ගෙ ඇගිල්ල මා දෙසට යොමු වී ”අරයා” කියා කියත්ම අපිව බාරව සිටි මාමා මාව ඔසවාගෙන විත් ”නි” ගේ අතට දුන්නේය.
මට හිතා ගන්නවත් බැරුව ගියා. මොකද දන්නවාද ? මම තමා මගේ සහෝදර සහෝදරියන්ගෙන් බාලම සහ පුංචිම කෙනා. හැමදාම එයාලා මට විහිළු කලා. ”ඔයාව නම් කවුරුත්ම ගෙනියන්නේ නැහැ” කියලා. එත් අවසානයේදී මටත් ගෙයක් ලැබුණා. ඔව්, මටත් ගෙයක් ලැබුණා, කියා මම සතුටු වුනෙමි.
එදා ”නි” මාව ආදරයෙන් තුරුළු කරගෙනම කාරයට නැඟ ”අපි ගෙදර යමු” කියත්ම, මා කාරයේ ජනේලයෙන් මාගේ සහෝදර සහෝදරියන් දෙස දෑස් පිය නොහෙලා බලාගෙනම සිට ඔවුනට සමු දුන්නේ කාරය ඉදිරියට අදෙනවාත් සමඟමය.